හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේ වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනාගන්නා ලකුණු පෙන්නුම් කරයි.

පළාත් පාලන ආයතන 340න් 200කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ පොදු ජන පෙරමුණ සමත් වී ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ.

උතුරු නැගෙනහිර හැර අනිකුත් සියලුම පළාත් වල ඉදිරියෙන් සිටීමට පොදු ජන පෙරමුණට හැකි වී තිබෙන අතර ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුන් වෙනි ස්ථානයටත් පත්වී තිබේ.

දේශපාලන විචාරකයන් බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා කිරීමට පොදු ජන පෙරමුණ සමත් වී සිටින අතර, බලයේ සිටින පක්ෂ දෙකක් පරාජය කර මෙම ප්‍රතිඵලය ලබා තිබීම විශේෂත්වයකි.

“පළාත් පාලන ඡන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප – ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී තියෙනවා,” කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායාමේ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඉරිදා පස්වරු 12 වන විට නිකුත්ව තිබු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 100 ක් පොදු ජන පෙරමුණ ජයගනිද්දී එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබුනේ ආයතන 19ක් පමණි.

දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 19ක් ජය ගෙන තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබුනේ ආයතන හයක් පමණි.

මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීම බලාපොරොත්තු නොවූ පරිදි පමා වූ අතර, නව මැතිවරණ ක්‍රමය යටතේ ලැබෙන ආසන සංඛ්‍යාව ගණන් බලා ප්‍රකාශ කිරීමට සිදුවීමත්, ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදයේ යම් ගැටළු කිහිපයක් එම ප්‍රමාදයට හේතු වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමට තව පැය කිහිපයක් ගතවනු ඇති බව ද ඉරිදා (පෙබරවාරි 11) දහවල් 12.30ට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින්, ජයග්‍රහණය සාමකාමිව සාමකාමීව භුක්ති විඳින ලෙස සිය පාක්ෂිකයන්ගෙන් හා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කළ ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group – ICG) ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය.

මේ අතර 2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා ද 2016 වසරේ අග භාගයේ ප්‍රතිඥා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *