දෑවැද්දට හිලව් ලෙස සිය වකුගඩුවක් සොරා ගත්තේ යැයි ඉන්දියානු කාන්තාවකගේ පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ඇයගේ සැමියා සහ ඥාති සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබේ.

දෙවසරකට ප්‍රථම, එම බටහිර බෙංගාල කාන්තාව උදරාබාධයකින් පෙළෙමින් සිටියදී ඇගේ සැමියා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යැයි පවසමින් සැත්කමක් සූදානම් කරන ලද බව ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කරයි.

ඉන් අනතුරුව 2017 වසරේ අවසාන භාගයේ වෙන් වෙන්ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දෙකකින්ම අනාවරණය වී තිබෙන්නේ ඇගේ වකුගඩුවක් අතුරුදහන්ව ඇති බවය.

තම සැමියා නිරන්තරයෙන් දෑවැද්ද ඉල්ලා සිටි බවට ඇය චෝදනා කරන්නීය.

බිරිඳගේ පාර්ශවයෙන් ස්වාමි පුරුෂයාගේ පාර්ශවයට සාම්ප්‍රදායිකව පිරිනමන දෑවැද්ද 1961 වසරේ සිට ඉන්දියාවේ තහනම් කර තිබේ.

තමන් දෑවැද්ද හේතුවෙන් වසර ගණනාවක් පුරා ගෘහස්ථ හිංසනයට ලක්වූ බව රීටා සර්කාර් නම් මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

“මගේ සැමියා කල්කටාවල පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයකට මා රැගෙන ගියා. මගේ උණ්ඩුකපුච්චය සැත්කමකින් ඉවත්කළ පසු මට සුවවේවි කියල සැමියාත් එහි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් පැවසුවා,” ඇය පැවසූ බව හින්දුස්තාන් ටයිම්ස් (Hindustan Times) පුවත්පතේ සඳහන් වේ.

“කල්කටාවල කළ සැත්කම පිළිබඳව කිසිවෙකුටත් නොකියන ලෙස සැමියා මට අවවාද කළා.”

මාස කිහිපයකට පසුව ඇය අසනීපයෙන් පසුවීම නිසා පවුලේ සාමාජිකයන් විසින් ඇය වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත්කර ඇත. ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව තමන්ගේ දකුණු වකුගඩුව අතුරුදහන්ව ඇතැයි අනාවරණය වූ බවත් ඇය පවසයි. දෙවන සෞඛ්‍ය පරීක්ෂණය මගින් එය තහවුරු වී තිබේ.

“සැත්කම පිළිබඳව නිහඬව සිටින ලෙස සැමියා ඉල්ලාසිටියේ ඇයිදැයි එවිට මම තේරුම් ගත්තා,” ඇය හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට පැවසුවාය.

“ඔහු මගේ වකුගඩුව විකුණුවේ මගේ පවුලේ අයට ඔහු ඉල්ලා සිටි දෑවැද්ද ලබාදීමට නොහැකි වූ නිසා.”

“මේ සඳහා ජාවාරමක සම්බන්ධතාවක් ඇතැයි අපි සැකකරණවා,” පොලිස් අධිකාරී උදයශංකර් ඝොෂ් පැවසූ බව ද ටෙලිග්‍රාෆ් ඉන්ඩියා පුවත්පතේ සඳහන් වේ.

“මනුෂ්‍ය අවයව හා පටක බද්ධ කිරීමේ පනත යටතේ මෙය සැලකිල්ලට භාජනය වෙනවා. පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම සහ මනාලියට වධ හිංසා පැනවීම යටතේ චෝදනා අපි ඉදිරිපත්කර තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *