“තවම මේ අපරාධකරුවෝ මාගේ සැමියාට උන් කළ දේ පිළිබඳ සත්‍යය සඟවති. ඒ සත්‍යය සොයා දෙනවා කියමින් අපෙන් බලය ලබාගත් නව රජුත් ඒ අපරාධකරුවන් සුරකිමින් සත්‍යය සඟවමින් සිටියි.”

එසේ පවසමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට කාලි මෑණියන්ට හා පත්තිනි මෑණියන්ට දේව කන්නලව්වක යෙදී සිටියාය.

සිය සැමියා, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, අතුරුදහන්වී වසර අටක් පිරිම නිමිත්තෙන් ඇය සහ තවත් අතුරුදහන් වූ පිරිසකගේ ඥාතීන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී ප්‍රසිද්ධියේ එම දේව කන්නලව්ව පවත්වනු ලැබුවේ තමන්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

“කාලි අම්මේ …. !!! පත්තිනි අම්මේ …..!!! මට මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙනු මැනවි,” යනුවෙන් ද සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී දෙවියන් වෙත කන්නලව් කළාය.

අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයා දෙන ලෙස ඉල්ලා 2010 ජනවාරි 24 දින සිට පැවැත්වූ බොහෝ විරෝධතාවලට දේශපාලකයන් විශාල පිරිසක් සම්බන්ධ වුවද බ්‍රහස්පතින්දා (ජනවාරි 25) පැවති දේව කන්නලව්වට හා විරෝධතාවට කිසිදු දේශපාලකයෙකු සම්බන්ධව නොසිටීම ද කැපී පෙනුණි.

“ඒ ගැන මමත් සමහර වෙලාවට හිතනවා. 2015ට කලින් අද ආණ්ඩුවේ ඉන්න කට්ටිය විපක්ෂෙ නිසා ඒ අය වෙනුවෙන් හෝ අපි වෙනුවෙන් ඒ සටන්වල සිටියා. අද බලය අරගෙන ඒ අයට මේකට එන්න බැහැ, මොකද මේවට යුක්තිය ඉටු කරල සත්‍ය සොයාදීම ඒ අයගේ වගකීම,” යනුවෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ පැවසුවේ “ලංකාවේ දේශපාලනය එය” බව ද සිහිපත් කරමිනි.

“අපෙන් බලය ලබාගත් නව රජුත් ඒ අපරාධකරුවන්ව සුරකිමින් සිටිනවා,” යනුවෙන් දේව කන්නලව්වේදී සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා ගැන දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, “ඔව් ඒ කිව්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන තමයි,” යනුවෙනි.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමට යුධ හමුදා බුද්ධි අංශ සම්බන්ධ යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු හෙළි කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු හමුදා බුද්ධි අංශ නිලධාරීන් මාස ගණනක් රිමාන්ඩ් භාරයේ පසුවූහ. පසුව ඔවුන් ඇප මත මුදා හැරිණ.

එම හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසට එරෙහිව චෝදනා ගොනු නොකර දිගින් දිගටම රඳවා තබා ගැනීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරක් ප්‍රසිද්ධියේ තම විරෝධය පළකර තිබුණි.

එම ප්‍රකාශයෙන් අනතුරුව අධිකරණය ඔවුන්ට ඇප නියම කිරීමත් සමග ජනාධිපතිවරයා එයට සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කොටි සංවිධානයට සම්බන්ධ බවට රාජපක්ෂ පාලනය සමයේ චෝදනා එල්ල වූ නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනය ප්‍රකාර ඔහු එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී හෝ ඊට අනුබල දී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

තවමත් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඔහු අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවට සහාය නොදෙන බවට ද සන්ධ්‍යා එක්නැලිගොඩ කන්නලව්ව අතරවාරයේ යුද හමුදාවට චෝදනා කළාය.