අවම වශයෙන් මාසයකට වතාවක් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රායෝගිකව ඔප්පු කරන්නේ තමා පරිණත පාර්ලිමේන්තුවාදියකු නොවන බවයි. ඒ අනුව අද ද ඔහු පාර්ලිමේන්තුවේ දී පිළිකුල් සහගතව හැසිරෙමින් ලෝකයාටම ඒ බව ඔප්පු කළේ ය.

ලංකාවේ අංක එකේ ධනපති පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු ජීවිතයේ හතලිස් වසර සැමරුවේ නොබෝදා ය. එහෙත් කනගාටුවෙන් වුවද කිව යුත්තේ ඔහුගේ පාර්ලිමේන්තු හැසිරීම නවක මන්ත්‍රීවරයකුටවත් තරම් නොවන බව ය.

අද පාර්ලිමේන්තුවේ දී ශ්‍රීලනිප විමතික කණ්ඩායමේ මොන්ගල් විරෝධතාව හමුවේ යටිගිරියෙන් බෙරිහන් දෙමින් කෙසේ හෝ විවේශ ප්‍රකාශයක් කරන්නට ගිය අග්‍රාමාත්‍යවරයා අනතුරුව තම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් ද පොළඹවා ගනිමින් කැත, නින්දිත හා අශ්ලීල විරෝධතාවක යෙදුනි. ඒ විරෝධතාව කිසිසේත්ම අග්‍රාමාත්‍යවරයකුට නොගැලපෙන්නේ ය. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය තුළ අගමැතිවරයකු හැසිරීමේ රීති ඇතත් ඔහු අද හැසුරුනේ පාදඩයකු ලෙසිනි. එමගින් කියාපාන්නේ අද ධනපති පන්තිය පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයයි.

මොන දේශපාලන ප්‍රශ්න හා පරස්පරතා තිබුණත් අතීතයේ සිටි අගමැතිවරු ආචාරධාර්මිකව හා විනයගරුකව පාර්ලිමේන්තුවේ දී හැසිරුණි. නමුත් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඒ ආචාරධාර්මික බැදීම් හෝ විනය බැදීම් නැත්තට නැති ගානය. එහෙත් පාර්ලිමේන්තුවාදය නොපිළිගන්නා වමේ මන්ත්‍රීවරුන් පවා මීට කළින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් හැසිරී තිබෙන අන්දම අග්‍රාමාත්‍යවරයාගේ ලැජ්ජාවට හේතු විය යුතුය.

අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් හැසුරුණ අන්දම අප්‍රසන්න ය. ඊට කතානායකවරයාගේ පෞර්ෂයක් නැති නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ විළි ලැජ්ජා නැති හැසිරීම ද ප්‍රධන හේතූන් වේ.

කේ.ජී.පිලිප් ශාන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *