2014 ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම්වලින් පීඩාවට පත් වූ ජනතාවට වන්දි ප්‍රදානය කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය.

බේරුවල හා අලුත්ගම ගැටුමේදී පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබිණ.

එහිදී හානි වූ ගොඩනැගිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දුන් නමුත් හානි වූ ගෘහ උපකරණ සහ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා වින්දිතයින්ට වන්දි ගෙවීමක් සිදු නොකරන ලද බව අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ හානි පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ගැටුම හේතුවෙන් අහිමි වූ අනෙකුත් දේපළ හා ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ තිබෙන බව ද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක සඳහන් විය.

එම යෝජනාව සලකා බැලූ කැබිනට් මණ්ඩලය, වර්තමානයේ පවතින විධිවිධානවලට යටත්ව වින්දිතයන්ට වන්දි පිරිනැමීමට අනුමැතිය පළ කර තිබේ.

අළුත්ගම සහ බේරුවල ගැටුම් වලින් මරණයට පත් සහ තුවාල ලද පුද්ගලයන්ට වන්දි ලබා දීමට පසුගිය වසරේ අගෝස්තු 22 වෙනි දින රජය තීරණය කළේය.

ගැටුම්වලින් තිදෙනෙකු මරා දැමුණ අතර තවත් පිරිසකට තුවාල සිදු විය.

එම මිය ගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කළේය.

එයට අතිරේකව, ප්‍රහාර වලින් තුවාල ලැබූ දොළොස් දෙනෙකුට රුපියල් ලක්ෂ පහක් බැගින් වන්දි ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අළුත්ගම ප්‍රහාරවලට සම්බන්ධ වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන බවට නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිඥාවක් දී ඇතත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය වසරේ ජුනි මාසයේ චෝදනා කළේය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ ගාල්ල ගිංතොට ප්‍රදේශය හටගත් නොසන්සුන් තත්ත්වයකින් අනතුරුව නිවාස 66 කට පමණ හානි සිදු වූ අතර, තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *