පෙරේදා දින ( 2017.12.27) ජාතික රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය අහම්බෙන් නරඹන්නට ලැබුණි. එහි විකාශය වූ සියළු පුවත් “ආණ්ඩු ” හිතවාදී වූවා කියා මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

නමුත් පුවත් විකාශය අතරතුර විකාශය වූ සෝදිසි නම් විශේෂාංගයක් හරහා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ස ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරමින් එළඹෙන මැතිවරණය ඉලක්ක කර සිදුවන විවේචනාත්මක ප්‍රකාශයන් ය. දැනට පරීක්ෂණ මට්ටමේ පවතින චෝදනා හුවා දක්වමින් එළඹෙන මැතිවරණයේ දී ඡන්දය නොදීමට කියා කරනා ව්‍යංගාර්තවත් ප්‍රකාශයන් ය.

මහින්ද රාජපක්ස ආණ්ඩුව පවත්නා කාලයේ මාධ්‍යයට එල්ල කරන ලද නින්දා සහගත මර්දනය හා ජනමාධ්‍ය රාජපක්සකරණය ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.

නමුත් පවත්නා ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යයයෙන් බලය ලබා දුන්නේ ඒ පිළිකුල් සහගත තත්වයෙන් මාධ්‍ය මුදාගෙන ස්වාධීන කිරීමට විනා නැවතත් තිබූ තත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නොවේ.

මැතිවරණ අපේක්ෂකයන්ට “රජයේ” වාහන භාවිත කිරීමට තහනම් වන්නේ ඒවා පොදු මහජන දේපළ නිසාය.

මැතිවරණ සමයේ මහජන දේපළ අවභාවිත කිරීම මැතිවරණ නීතිය යටතේ වරදකි .

ජාතික රූපවාහිනිය මෛත්‍රීපාල සිරිසේනගේ හෝ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නාලිකාව නොව එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාවගේ පොදු දේපලකි.

එය ඇතුළු රාජ්‍ය නාලිකා විකාශය වන සංඛ්‍යාතයන්ද මහජන දේපළය.

එම නිසා අපට හැඟෙනා පරිදි ජාතික රූපවාහිනිය මගින් මේ සිදුකරන්නේ මහජන දේපළ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය උදෙසා අවභාවිත කිරීමකි.

ජයග්‍රහණය කරන්නේ කවුරුන්වුවත් අපට අවශ්‍ය වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයකි.

මංජුල සමරසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *