සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට එවැනි ස්ථාන හඳුනා ගැනීම පවා දුෂ්කර බවත් පෙන්වා දෙයි.

“ඒ නිසා අපි ඇත්තටම තමන්ගේ මියගිය ඥාතීන්ට ගරු කිරීමේ ඥාතීන්ගේ අයිතිය උල්ලංඝනය කරමින් ඉන්නවා,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමිය අසල ස්මාරකය අබියස පැවති සුනාමි අනුස්මරණ උත්සවය අතරතුර මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි

2004 දෙසැම්බර් 26 වෙනි දින හටගත් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 40,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමිවිය.


එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් 5000 කට අධික පිරිසක් මියගිය බව තක්සේරු කෙරේ.

ඒ අතරින් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් සමූහ වශයෙන් මිහිදන් කරනු ලැබ තිබෙන්නේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමියේය.

එම සුසාන භූමිය ආසන්නයේ ස්ථිර ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳව දේශපාලන සහ පරිපාලන අධිකාරියට ස්තුතිවන්ත වන බව සුනාමි ව්‍යසනය අවස්ථාවේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලට දායක වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එතනට මඳක් ඈතින් පිහිටි එම පිරිස මිහිදන් කළ ස්ථානය ආරක්ෂා කරන මෙන් සහ එම ස්ථානයේ ද විශේෂ ස්මාරකයක් ඉදිකරන මෙන් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

සුනාමියෙන් ගාල්ල නගරයට සහ දිස්ත්‍රික්කයට බරපතල හානි සිදු වූ අතර මුළු ගමක්ම විනාශ කරමින් එකම පරම්පරාවකින් පැවත එන 96 දෙනෙකු සුනාමියට හසුව මියයාමේ ඉතා සංවේදී පුවතක් ද ඒ අවස්ථාවේ වාර්තා විය.

ගාල්ල කටුගොඩ සීජීආර් වත්ත ප්‍රදේශයේ දිවි ගෙවූ සියලු දෙනාම ඥාතීන් වූ අතර, සුනාමියනේ දිවි බේරාගැනිමට හැකි වූයේ ගම්වාසීන් අතරින් ඉතා සුලු පිරිසක් පමණි.

ධීවර ගමේ තිබූ නිවාස 120ම මුහුදු රළ පෙළ විසින් විනාශ කර දමන ලදි.

එහිදී දිවි බේරාගත් 53 හැවිරිදි මොහමඩ් සලිත් ධීවරයාගේ පවුලේ 18 දෙනෙක් සුනාමියට බිලි විය.

“මගේ බිරිඳ, දුව ඇතුළු බිරිඳගේ සහ මගේ පවුලේ 18 දෙනෙක් නැතිවුනා. ඒ වගේම ගමේ ජීවත්වුණ 96 දෙනෙක් තත්පර ගණනකදි ඇස් ඉදිරිපිටම මරු තුරුලට ගියා. මට ඒක මගේ ජිවිතයේ කවදාවත් අමතක කරන්න බැහැ.”

මුහුද තමන්ට එතරම් රුදුරු වුවත් අදටත් දෙවට මුහුදු තීරයේ තමන් ඇතුළු දිවි බේරාගත් ඥාතින්ට එදා වේල සරි කර ගැනීම පිණිස මා දැල් අදිමින් මුහුද සමග පොර බැදීමට සිදුව තිබෙන බවත් මොහමඩ් සලිත් පැවසීය.

මේ අතර දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර ප්‍රධානත්වයෙන් හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වුන ගාල්ල දිස්ත්‍රික් සුනාමි සැමරුමට සර්ව ආගමික නායකයින්, ජාතික අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩීඑල්එස් සේනාධීර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් පිරිසක් එක්ව සිටියහ.

මගීන් 1500 කට අධික පිරිසකට මරු කැඳවමින් දළ රළ පෙළට කොටු වූ පැරෑලිය තෙල්වත්ත දුම්රිය යළි ධාවනය කොට පෑරැලිය සුනාමි ස්මාරකය අසල දුම්රිය නවත්වා දුම්රියෙන් පැමිණි පිරිසක් ද එක්ව එහිදීත් මියගිය පිරිස් සිහිපත් කෙරුණි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ හටගත් දරුණු භු කම්පනයකින් අනතුරුව මතු වූ සුනාමි රළ පහරින් ලොව පුරා රටවල් ගණනාවක මිනිස් ජීවිත ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අහිමි කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *