තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ශ්‍රී ලංකා රජය එම කොන්දේසි සඳහා එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කෙරෙනු ඇති බව ඇමතිවරයා කියා සිටියේ Lanka Real News වෙත අදහස් දක්වමිනි.

රුසියාව විසින් එවැනි තහනමක් පනවනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමත් සමගය.

රුසියානු බලධාරීන් සහ එහි ගොස් සිටින ශ්‍රී ලාංකික තාක්ෂණික කණ්ඩායම අතර සඳුදා (දෙසැ 25) සාකච්ඡාවක් පවත්වා ඇති බවත් තේ කුඩුවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා පියවර ගන්නා ලෙස එම බලධාරීන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවත් අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

“දුම් ගසා විෂබීජ නැසීම, ගබඩාවල පවිත්‍රතාව. ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය සහතික කිහිපයක් ගැනීම වැනි ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ඒ අය කළ ඉල්ලීම්වලට අප එකඟ වී තිබෙනවා”

“රුසියානු නිලධාරීන් සහ දේශපාලනඥයන් සමග සාකච්ඡා කර ඉතා කෙටි කලක් ඇතුළත මේ තහනම සම්පුර්ණයෙන් ඉවත් කරගන්න අපගේ රජයට හැකි වුනා” යනුවෙන් ඇමතිවරයා පැවසීය.

ඇස්බැස්ටෝස් තහනම

මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

ඇස්බැස්ටෝස් තහනම අත්හිටුවීමත් ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත් අතර සම්බන්ධයක් ඇති බවට ඒ සමග වාර්තා පළ විය.

ශ්‍රී ලංකාවට ඇස්බැස්ටෝස් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් අතරින් රුසියාවට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. එමෙන්ම ඩොලර් මිලියන 436 පමණ වන ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමාණයක් රුසියාව වෙත අපනයනය කරනු ලබයි.

පසුගිය බදාදා (දෙසැ 20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය නවීන් දිසානායක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, ඇස්බැස්ටෝස් තහනම සහ තේ තහනම අතර සම්බන්ධයක් පවතින බවට තමන්ට ද නිල නොවන ආරංචි ලැබී ඇති බවය.

කෙසේ නමුත් ඒ පිළිබඳ ඇමතිවරයාගෙන් Lanka Real News කළ විමසීමේ දී ඔහු කියා සිටියේ “කුඩා තේ වතු හිමියන් සහ එම කර්මාන්තය ජීවිකාව කරගත් ජනතාව පිළිබඳ සිතාබලා අදාළ ගැටලුව විසඳීමට රජය ප්‍රයෝගිකව ක්‍රියා කළ” බවය.

ශරීර සෞඛ්‍යට හානිකර ඇස්බැස්ටෝස් තහඩු ආනයනය කිරීම නවතා දැමීම තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව ගත් තීරණයට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පසුගිය බ්‍රහස්පතින්දා පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *