ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමට කැපවීම විනා එයට අදාළ අමාත්‍යාංශය භාර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ තමන් ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) එක් වීමට හේතු පැහැදිලි කරමිනි.

ශ්‍රීලනිපයට එක්වීමත් සමග ඔහුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

එහෙත් ජනාධිපතිවරයා තමන්ට එවැනි කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බව Lanka Real News කළ විමසීමකදී සඳහන් කළ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා,”ඕව එක එක්කෙනා කියපු මතනේ. නීතිය හා සාමය අපි බලනවා රටේ තියාගන්න, අපිට ගන්න නෙවෙයි,” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.