ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කිරීමෙන් වැළකී සිටින මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ.

එජාප නායකයා ද වන අගමැතිවරයා ඒ බව දැනුම් දී තිබෙන්නේ සඳුදා (නොවැම්බර් 27) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා අදහස් දක්වමිනි.

එජාපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කරමින් පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර ඉන් අනතුරුව නිකවැරටියේ දී ජනහමුවක් ඇමතූ ජනාධිපතිවරයා එයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.

“වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු,” බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ එජාප මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචනවලට ප්‍රතිචාරයක් ලෙසිනි.

දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් “සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්” බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසුවේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ එක්ව තරග කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ඒකාබද්ධ විපක්ෂය පවත්වන සාකච්ඡා ද හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර සම්මුති ආණ්ඩුව බිඳවැටෙන ලකුණු පෙනී යන බවට පසුගිය දිනවල වාර්තා පළවෙමින් තිබිණ.

මේ අතර මතු වී තිබුණු අර්බුදය පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන සිවිල් සංවිධාන නායකයන් ඉරිදා ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබේ.

බැඳුම්කර කොමිසම පිහිටුවීම සම්බන්ධයෙන් එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සිය කණස්සල්ල පළ කළ බව එම සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ පැවසීය.

මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව එහිදී පිළිගෙන තිබූ ජනාධිපතිවරයා, එය එජාපය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවනු ඇතැයි ප්‍රකාශ කළ බව ද ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය.