නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ.

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) සඳහන් කළහ.

එහෙත් ඊට පසු දින පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, ජනතාව නොමග යවන වාර්තා පළ කරන බවට ජනමාධ්‍යවලට චෝදනා කළේය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් විදේශගතව සිටින අවස්ථාවක අදාළ රැස්වීම සම්බන්ධයෙන් මහා නාහිමියන්ගේ ඡායාරූපය පවා යොදාගෙන වාර්තා පළ කර තිබෙන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර පසුගියදා පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් අමතා දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තවමත් කෙටුම්පත් කර නොමැති ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමග යැවීමට “ඇතැම් අන්තවාදී කණ්ඩායම්” උත්සාහ දරන බවට චෝදනා කළේය.

රට තුළ ඇති ප‍්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස සියලු ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කළ බවත් කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය පිළිබඳව සෙනසුරාදා (ඔක්තෝබර් 21) වාර්තාවක් පළ කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාව තුළ සහෝදරත්වය, සහජීවනය ගොඩනැගීම සහ රට නොබෙදා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කොට බලය බෙදීමේ සංකල්පය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන රට තුළ සාමය ගොඩනැගීමට සිය ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී “ඇතැම් පිරිස් වැරදි තොරතුරු සමාජයට දෙනවා. අන්තවාදී පිරිස් ජනතාව නොමග යවනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි තොරතුරු දෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

“අපි අවුරුදු තිහකට ආසන්න නරක යුද්ධයක පැටලී සිටි පිරිසක්. ඒ තුළ අපේ සමාජය කඩාහැලීම ආර්ථිකය කඩාහැලීම අප අතර අසමගිය, සැකය, අවිශ්වාසය, බිය මේ සියල්ල ජනතාව තුළ ගොඩනැගුනා. සියලු ජාතීන් අතර සමගිය ගොඩනගා සැකයෙන් බියෙන් තොර යහපත් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා: “අපි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියලා කියනවා. ජාත්‍යන්තරය කියන විදියටයි මේ ව්‍යවස්ථාව ගේන්නේ, කියලා කියනවා.

1957-58 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මහත්මයත් එක්ක සාකච්ඡා කරලා එදා බලය බෙදීම පිළිබඳව ගිවිසුමක් සකස් කළ වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අහුවෙලා හිටියද කියලා අපිට චෝදනා කරන අයගෙන් මම අහන්න කැමතියි.

දීපාවලී සැමරුම් උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන: “මේ රටේ යුද්ධයක් ඇතිවෙන්න, එල්ටීටීඊ සංවිධානය ඇතිවෙන්න, ප‍්‍රභාකරන් ඇතිවෙන්න හේතුව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද කියා මම අහනවා. රටේ ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය තීන්දු තීරණ නොලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි එල්ටීටීඊ සංවිධානය බිහිවුණේ,” යනුවෙන් ද කියා සිටියේය.

“ඒ තුළ තමයි ප‍්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයෙක් බිහිවුණේ. අපි ඒ තත්ත්වය තේරුම් ගන්නට ඕන. ඒ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න, ප‍්‍රභාකරන්ලා බිහි නොවන්න අපි මේ සමාජය යහපත් කරන්නේ කොහොමද? සමාජය සමගි කරන්නේ කොහොමද? ජනතාව අතර විශ්වාසය ගොඩනගන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා බුද්ධියෙන් දැනුමෙන් සහ අවබෝධයෙන් මෙන්ම පරිණතභාවයෙන් තේරුම්ගන්නට ඕන.”

එබැවින් සිය ආණ්ඩුව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ නැවත යුද්ධයක් ඇති නොවීමේ “පවිත‍්‍ර අරමුණ තුළ” බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මල්වතු මහා නාහිමියෝ ද පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිමියන් බැහැදුටු අවස්ථාවේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ ව්හිදී වැඩිදුරටත් කියා සිටියේ බණ්ඩාරනායක-චෙල්වනායගම් වැනි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මහා විනාශයකට මුහුණ දුන් බවය.

රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය එහිදී මහා නාහිමියෝ පෙන්වා දුන්හ.